“ආලෝකා, හෙට එනකොට මටත් මල් ටිකක් ගේන්න. ඒ මල් හරිම ලස්සනයි.”
“ටිකක් නෙමෙයි ගොඩක්ම ගේන්නම්කෝ! මේ දවස් වල ගගේ සුදු නෙලුම් ගොඩක් පිපිලා. බලං ඉන්නත් ලස්සනයි.” ඇය පැවසුවාය.
එවිටම පංතිභාර ගුරුතුමිය පංතියට පැමිණි නිසා අපි නිහඩ වූයෙමු. ඇය බුදු මැදුර පිරිසිදු කර මල් පූජා කිරීම ගැන අප දෙදෙනාටම පැසසුම් කලාය. ඒ මොහොතේ ඇගේ දෑස් දීප්තියෙන් බබළනු මම දුටුවෙමි.
පාසල අවසාන වී ගෙදර යන මොහොතේදීත් මා ඇයට සුදු නෙලුම් ගැන සිහිපත් කළේ ඒවාට තිබූ ආශාව නිසාමය.
පසුව දා උදෑසන පාසලට යන්නට සූදානම් වන අතරතුරදී ආලෝකා සුදු නෙලුම් ගෙන එන බව මට මතක් විය. එබැවින් මම ඉක්මනින්ම ලක ලැහැස්ති වී පාසල වෙත ගියේ වෙනදාට වඩා උදෑසනින්ය. මා පාසලට වී ඇය එන තුරු මහත් ආශාවෙන් පෙරමග බලා සිටියෙමි. මගේ දෑස් රිදුම් දෙන තුරු මම ඇසිපිය නොහෙලා ඇය එන දෙසම බලා සිටියෙමි. එහෙත් මා කොතෙක් බලා සිටියත් ඇය ආවේ නැත. පාසල් ආරම්භක සීනුව වැදීමෙන් පසු මම පංතියට ගොස් සුපුරුදු පරිදි වැඩ ආරම්භ කළෙමි. පංතියට පැමිණි ගුරුතුමියත් “අද ආලෝකා නැතුව පාලුයි නේද?” යැයි මගෙන් විමසූවත් මා කළේ ඇය දෙස බලා මද සිනහවක් පෑම පමණය. පසුවදා ඇය පැමිණේවි යැයි සිතා මම පාසල අවසාන වී ගෙදරට පැමිණියෙමී. මා ගෙදරට එන විට අම්මා ගමනක් යෑම සදහා සූදානම්ව සිටියාය.
මා ගෙදරට ගොඩවදිණු දුටු ඇය “දුව ඉක්මනට කෑම කාලා ලෑස්ති වෙන්න. ගමනක් යන්න තියෙනවා” යැයි කීවාය. මමද ඉක්මනින් සූදානම් වූයෙමි. අම්මාත් මමත් බස් නැවතුම් පොළට පැමිණ බසයට ගොඩ වීමූ.
“අම්මේ, අද ආලෝකා මට සුදු නෙලුම් ගේනවා කියලා පොරොන්දු වුණා. ඒත් එයා අද ආවේ නෑ.” බසයේ යන අතරතුර මම මවට පැවසූවෙමි. එහෙත් අම්මා නිහඩව සිටියා විනා වචනයක්වත් කීවේ නැත.
අප යන්නේ ආලෝකාගේ ගෙදර බව මට පසක් වූයේ අප බසයෙන් බැස ගුරු පාරකට හැරුණු විටය. එය ආලෝකාගේ නිවස වෙත යන මාර්ගය බව මම දනිමි.
“දුව” මවගේ කටහඩ වෙව්ලනවා යැයි මට හැගිණි. “මං දන්නවා ඔයාට මේක දරාගන්න බැරි වෙයි කියලා. අද උදේ ආලෝකා මල් කඩන්න ගිය වෙලාවේ ගගේ වතුර පාරට ගහගෙන ගිහිල්ලා” ඇය පැවසුවාය.
“ඉතිං අම්මේ, එයා දැන් ඉස්පිරිතාලෙද? එයාට ගොඩක් තුවාලද? එයා හොදින් නේද අම්මේ?” මම මහත් වේදනාවෙන් විමසුවෙමි.
“නෑ දුව, දවල් මිනිය ඉවුරට ගොඩ ගහලා තිබිලා හොයාගෙන” ඇගේ කම්මුල දිගේ රූරා ආ ලොකු කදුලු බිදු දෙකක් බිමට වැටී මහ පොළොව සිප ගත්තේය.
“ආලෝකා මැරිලා!”
“අනේ අම්මේ මට ඒක විශ්වාස කරන්න බෑ. අනේ අම්මේ ඔයා කියන්නේ බොරු නේද? ඒක වෙන්න බැරි දෙයක්!” මගේ දෑස කදුලින් තෙත් වී අදුරු පටලයකින් වැසී ගියේය. මට දරා ගත නොහැකි තරම් වේදනාවක් දැණුනි. එවන් වේදනාවක් විදිනවාට වඩා එය ඇසූ මොහොතේම ඇයත් සමගම මාත් මිය ගියා නම් යෙහෙකැයි මට සිතුණි.
ඇගේ නිවසේ සාලයේ සුදු ඇදුමක් අන්දවා තිබූ ඇගේ මුහුණ දෙස බැලිමට පවා මට නොහැකි විය.
“ඇයි මම එයාට එහෙම කිව්වේ. මට තිබුණා එහෙම නොකියා ඉන්න. මං නිසයි ඒක වුණේ!” සිතත් ගතත් දැඩි පහර දීමකට ලක් වූ කළෙක මෙන් රිදුම් දෙන්නට විය.
“දුව, මම දන්නවා ඔයා එයාට සුදු නෙලුම් ගේන්න කිව්වා කියලා. ඒත් ඒක හැමෝටම පොදු ධර්මතාවක්. අපිට බෑ ඒක වෙනස් කරන්න.”
මවගේ මුදු කටහඩ මට සැනසීමක් විය.
එදා දවසම මහා පාලු මූසල අදුරු එකක් විය. සැදෑ සමයේ අදුර අහස් කුසටද උසුලා ගත නොහැකි සේයකි. වෙනදා සුවදවත් හෙන්දිරික්කා මල් වලිනුත් අද සුවදක් නොහමන්නා සේ මට දැනේ. ඇත්තටම එය සිහිනයක්ද?
ඔව් එය සිහිනයකි.
අතට වැටුණු සීතල කදුලු බිදුවක පහසින් මම පියවි ලොවට පිවිසියෙමි. ඇත්තෙන්ම එය සිහිනයක් වන්නේ නම් මගේ සියලු දේ කැප කිරීමට මම සූදානම්ය. එහෙත් එය මට වෙනස් කළ නොහැක. එය සත්‍යයකි. අතීතය මත වැළලී ගිය සත්‍යයකි.
ඉතිං දයාබර යෙහෙළිය,
ඔයාගෙත් මගෙත් ඒ සොදුරු මතකයන් ඒ සුදු නෙලුම් මත්තෙම මියැදුණාවේ.
මම සිංහල ප්‍රශ්න පත්තරේ ඇන ගන්නේ සාහිත්‍ය කොටසට “පිං” සිද්ද වෙන්න.
ලියපු අනික් ඒවත් බ්ලොග් එකට දාන්න.
By: budhajeewa on October 5, 2008
at 3:11 pm
කතාව ලස්සනයි
By: මම මචන් on November 22, 2008
at 7:41 am
දිගටම ලියන්න.ලියාගෙන යද්දී සමහරවිට එක්තරා තැනක් මුනගැසේවි-නතර වී ආපසු බලන විට පෙර නුදුටු දේවල් පෙනෙන.ඒ තැන හමුවන තුැ ලියන්න.
සුබ පැතුම්
By: ramachandra on February 16, 2009
at 7:22 pm